රකුසු මුගලන්

|

රකුසු මුගලන්

කාශ්‍යප රජු ද බෞද්ධයකු වූ බව පැහැදිලි ය. ඒ වන විට ඇතැම් යක්‍ෂ ගෝත්‍රිකයන් බෞද්ධයන් වන්නට ඇත. හැරත් කාශ්‍යප රජු ධාතුසේන රජු ගේ ද පුතු විය. එබැවින් ඔහු බෞද්ධ වීම කිසිසේත් පුදුමයක්‌ නො වේ. කාශ්‍යප රජු පමණක්‌ නො ව එතුමා ගේ දියණියන් දෙදෙනා ද බෞද්ධ වූ බව මහාවංශයෙන් ද පැහැදිලි වෙයි. එහෙත් සිංහල රාජ්‍යය පැහැර ගැනීම පිළිබඳව සිංහල භික්‍ෂුන් වහන්සේ ද ඇතුළු සිංහල බෞද්ධයන් කාශ්‍යප රජුට කිසි ම සමාවක්‌ නො දෙන්නට ඇත.

අප දැනට කලකට පෙර පැවසූ පරිදි කාශ්‍යප රජු යක්‍ෂ සම්ප්‍රදාය අනුව සිහිගිරිය කරවා ඇත. එහි උයන් ද පර්සියන් සම්ප්‍රදාය අනුව පවත්වාගෙන ගොස්‌ ඇති බව නව කැණීම්වලින් පැහැදිලි වෙයි. බොහෝ කරුණු විමසා බැලූ කල පැහැදිලි වන්නේ සිහිගිරිය යක්‍ෂ සංස්‌කෘතිය සිහි කිරීම සඳහා කරවන ලද්දක්‌ බව ය. සිංහලයන් විසින් අමතක කරනු ලැබ තිබූ යක්‍ෂ සංස්‌කෘතිය හා සම්ප්‍රදාය නැවත සිහි කිරීම සඳහා ඉතා අනර්ඝව උයන් චිත්‍ර සහිතව සිහිගිරිය කරවා ඇති බව පෙනී යයි.

ඒ කිසිසේත් ම බියෙන් විසූ පුද්ගලයකු ගේ නිර්මාණයක්‌ විය නොහැකි ය. එහෙත් මුගලන් කුමරු ආපසු එන බව කාශ්‍යප රජු නො දැන සිටියා නො වේ. එසේ වූවත් රටේ ප්‍රමාණවත් බලයක්‌ යක්‍ෂ ගෝත්‍රිකයන් අත් කරගෙන තිබූ බැවින් කාශ්‍යප රජුට බිය වීමට කරුණු නො වී ය. රජුට සෙනෙවියන් දාහක්‌ සිටි බව මහාවංශයෙහි ම කියෑවෙන කරුණුවලින් සනාථ වෙයි. සෙනෙවියන් දහසක්‌ යටතේ සෙබළුන් විශාල සංඛ්‍යාවක්‌ සිටි බව ඉතා පැහැදිලි ය.

අවුරුදු දහ අටකට පසු රටට පැමිණි මුගලන් කුමරු සිංහලයන් විසින් හරසරින් පිළිගනු ලැබූ බවට සැකයක්‌ නැත. භික්‍ෂුන් වහන්සේලා ඒ කුමරුට ආශිර්වාද කළ බව ද පැහැදිලි ය. කාශ්‍යප රජු මුගලන්ට එරෙහි ව යුද්ධයට ගියේ ය. එය සිංහල ජාතිකයන් හා යක්‍ෂ ගෝත්‍රිකයන් අතර ඇති වූ අවසන් ප්‍රධාන සටන යෑයි අපි කියමු. ඉන් පෙර එවැනි සටනක්‌ ඇති වූයේ මහසෙන් රජු දවස බව ද කිව හැකි ය. ඇතැම් විට එළාර ගැමුණු සටන ද සිංහලයන් හා බොහෝ යක්‍ෂ ගෝත්‍රිකයන් අතර සිදු වූ සටනක්‌ විය හැකි ය. එළාර රජු පර්සියාවෙන් පැමිණෙන්නට ඇත්තේත් යක්‍ෂ ගෝත්‍රිකයන් සමඟ තිබූ සම්බන්ධකම් උඩ යෑයි සිතිය හැකි ය.

එසේ පැමිණි එළාර රජුට යක්‍ෂ ගෝත්‍රිකයන් බොහෝ පිරිසක්‌ ආධාර කර ඇති බව මහාවංශ කතාවලින් පැහැදිලි වෙයි. එළාර රජුට අනුරාධපුරය එතරම් අපහසුවක්‌ නැති ව යටත් කර ගැනීමට හැකි වීමේ රහස ද ඒ ආධාරය බව පැහැදිලි වෙයි. එසේ සිංහලයන් හා සිංහලයන් වීමට විරුද්ධ වූ යක්‍ෂ ගෝත්‍රිකයන් අතර විටින් විට පැවැති ප්‍රධාන සටන් අවසන් වී ඇත්තේ කාශ්‍යප මුගලන් යුද්ධයෙන් පසුව බව වංශකතාවෙන් ම පැහැදිලි වෙයි.

මුගලන් කුමරු ආපසු පැමිණීමෙන් පසුව ඇති වූ යුද්ධයෙන් කාශ්‍යප රජු පැරැදී ඇත්තේ එතුමා ගේ සේනාව එතුමා වැරැදියට වටහා ගැනීම නිසා මිස මුගලන් කුමරු ගේ හෝ ඔහු ගේ සේනාවේ හෝ දක්‍ෂතාවක්‌ නිසා නො වන බව පැහැදිලි ය. වංශකතාවලට අනුව රජතුමා හමුදාව ගමන් කළ මගෙහි වූ බාධකයක්‌ මඟහැරීමට හැරුණු අවස්‌ථාවෙහි එතුමා පළා යන්නේ යෑයි විශ්වාස කළ සේනාව එතුමා අතහැර ගොස්‌ ඇත. මුගලන් කුමරු ලද අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගෙන කාශ්‍යප රජතුමා මරා දමා රාජ්‍යත්වයට පත් වී ඇත.

මුගලන් කුමරු රජ වීමෙන් පසු මෙරට භීෂණ සමයක්‌ උදා වී ඇත. රජතුමා කාශ්‍යප රජු ගේ සෙනෙවියන් දාහක්‌ මරා දැමූ බව මහාවංශයෙහි සඳහන් වෙයි. මේ සෙනෙවියන් සියල්ල ම නො වේ නම් අති විශාල බහුතරයක්‌ යක්‍ෂ ගෝත්‍රිකයන් වූ බවට සැකයක්‌ තිබිය නොහැකි ය. එයට අමතරව මුගලන් රජු තමාට විරුද්ධ වූ වැසියන් ද ඝාතනය කර ඇත. මේ අය විශාල වශයෙන් ගත හොත් සිංහල ජාතියට ඇතුළු නො වූ යක්‍ෂ ගෝත්‍රිකයන් වන්නට ඇතැයි සිතිය හැකි ය. මුගලන් රජු කෙතරම් භීෂණයක්‌ ඇති කළේ ද කිව හොත් ඔහුට රකුස්‌ මුගලන් යනුවෙන් නමක්‌ ද පටබැඳී ඇත.

රකුස්‌ යන නම පටබැඳීම ගැන ද වචනයක්‌ සඳහන් කළ යුතු ය. රාක්‍ෂසයෝ ද අර්ධ වෛදිකයන් මෙරටට පැමිණීමට පෙර මෙහි වාසය කළ ජනවර්ගයක්‌ වූ හ. එමෙන් ම ආර්යයන් දඹදිවට පැමිණීමට පෙර එහි රාක්‍ෂසයන් සිටි බව පැහැදිලි ය. රාවණ රජු කොහේ වාසය කළ ද රාක්‍ෂස ගෝත්‍රයට අයත් විය. අතැමුනට අනුව රාක්‍ෂස වර්ගය යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ආරක්‍ෂක භටයන් ගෙන් සමන්විත විය. වෙනත් වචනවලින් කිව හොත් රාක්‍ෂසයෝ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ආරක්‍ෂකයෝ වූ හ. කෙසේ වෙතත් රාක්‍ෂසයන් යුද්ධ දක්‍ෂයන් වී ඇති බව පැහැදිලි ය. ඔවුන් ගෙන් දඹදිවට පැමිණි ආර්යයන්ට හිරිහැර සිදු වී ඇති බව ද පැහැදිලි ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස රාක්‍ෂකයන් සියලු දෙනා ම මහා භයානක පිරිසක්‌ ලෙස, භීෂකයන් ලෙස, ආර්යයන් විසින් හඳුනාගනු ලැබ ඇත.

රාක්‍ෂස යන නාමය එලෙස භීෂණය සමඟ පර්යාය වී හඳුනා ගැනෙන්නට ඇත. රකුසා යන්න භීෂකයා යන අදහස ගෙන දෙන පදයක්‌ ලෙස දඹදිව භාවිත වී ඇති බව පැහැදිලි ය. ලංකාවට පැමිණි අර්ධ වෛදිකයනට ද රකුසා යන පදය එලෙස භීෂක සමඟ පර්යාය වී ඇති බව පැහැදිලි ය. අද පවා අප රාක්‍ෂස යන වචනය යොදා ගන්නේ භයානක යන අදහස ගෙන දෙන ආකාරයට ය. එහෙත් රාක්‍ෂස යන්නෙහි නෛසර්ගික ව ආරක්‍ෂකයා යන අර්ථය මිස භීෂක යන අර්ථය නොමැත. අප මෙවැනි යෙදුම් දැන් වත් නතර කළ යුතු ය.

කෙසේ වුවත් මුගලන් රජුට රකුස්‌ නම පටබැඳී ඇත්තේ ඔහු මෙරට එකල භීෂණයක්‌ දියත් කළ හේතුවෙනි. මේ භීෂණය යක්‍ෂ ගෝත්‍රිකයන්ට එරෙහි ව දියත් කළ එකක්‌ විය. එහෙත් ඕනෑ ම භීෂණයක්‌ මෙන් ම පසු කාලයක දී භීෂණය අනෙක්‌ ජනවර්ගවලට ද එරෙහි ව ක්‍රියාත්මක වන්නට ඇත. රකුස්‌ යන නම මුගලන් රජුට පටබැඳෙන්නට ඇත්තේ භීෂණය සිංහලයන්ට ද එරෙහි ව ක්‍රියාත්මක වීමට පටන් ගැනීමෙන් පසු ව විය යුතු ය. කෙසේ වෙතත් යම් අවස්‌ථාවක භික්‍ෂුන් වහන්සේ මැදිහත් වී මුගලන් රජු ගේ ක්‍රියා කලාපය වෙනස්‌ කෙරී ඇත.

පසුව මුගලන් රජු වෙහෙර විහාර කරවා භික්‍ෂුන් වහන්සේ කමා කරගත් බව මහාවංශයෙන් පැහැදිලි වෙයි. එතුමා සීගිරි ගල මුදුනෙහි ද විහාරයක්‌ කරවී යෑයි මහාවංශයෙහි සඳහන් වෙයි. ඇතැම් වත්මන් උගතුන්ට සීගිරිය මුල සිට ම බෞද්ධ විහාරයක්‌ ලෙස හඳුනාගැනීමට තුඩු දී ඇත්තේ මේ විහාරය විය හැකි ය. මුගලන් රජු ගෙන් පසුව ද සිංහල රජවරු සිගිරියෙහි බෞද්ධ සිද්ධස්‌ථාන ඉදි කරන්නට ඇත. සිහිගිරිය යක්‍ෂ ආධිපත්‍යයෙන් මුදා ගැනීම එහි එක්‌ අරමුණක්‌ වන්නට ඇත.

ඇතැම් විට සිහිගිරියෙහි සිංහ හස්‌ත (සිංහ කට) නිර්මාණය කරන්නට ඇත්තේ ද යක්‍ෂ ආධිපත්‍යයෙන් කැඩීමට විය හැකි ය. ඒ කිනම් කාලයක නිර්මාණය කෙරිණි ද යන්න පැහැදිලි නැත. එසේත් නැත හොත් ඒ කාශ්‍යප කුමරු රජ වීමට පෙර සිට ම තිබි එකක්‌ විය හැකි ය. කාශ්‍යප කුමරු තම අභිමානය සඳහා සිංහ කටින් ඇතුළු වීමට තීරණය කළා විය හැකි ය. මේ සියල්ල ගැන විධිමත් ගවේෂණයක්‌ අවශ්‍ය වෙයි. එහෙත් සුසමාදර්ශය වෙනස්‌ නො කර කෙරෙන ගවේෂණයක්‌ ඵල දැරීමට බොහෝ කල් ගත වනු ඇත.

මුගලන් රජු මෙරට ඉතිහාසයෙහි සඳහන් විය යුත්තේ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ දේශපාලන බලය නැති කළ තැනැත්තා ලෙස ය. ඔහු යක්‍ෂ ගෝත්‍රික සෙනෙවියන් මරණයට පත් කර වෙනත් ප්‍රධාන යක්‍ෂ ගෝත්‍රිකයන් ද විනාශ කරන්නට ඇත. මුගලන් රජු ගෙන් පසුව යක්‍ෂ ගෝත්‍රිකයන් සිංහලයන්ට එරෙහි ව කළ ප්‍රධාන සටනක්‌ ගැන දැනගන්නට නැත. ඇතැම් යක්‍ෂ ගෝත්‍රිකයන් ඉන් පසුව ද තම අනන්‍යතාව රැකගැනීමට උත්සාහ කර ඇති බව පමණක්‌ පැහැදිලි ය. මෑතක්‌ වන තුරු ම ඇතැම් ප්‍රදේශවල යක්‍ෂ ගෝත්‍රිකයන් තම යක්‍ෂභාවය යම් ප්‍රමාණයකට වුවත් රැකගෙන ඇති නමුත් විසි වැනි සියවසේ අගභාගයේ සිට ඒ අසීරු කාර්යයක්‌ වී ඇත.

අද යක්‍ෂ ගෝත්‍රිකයන්ට තබා සිංහලයන්ට ද තම අනන්‍යතාව රැකගැනීම ප්‍රශ්නයක්‌ වී ඇත. ඒ දේශපාලන ආධිපත්‍යයක්‌ පමණක්‌ නිසා සිදු වන්නක්‌ නො ව සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ ද නිසා කෙරෙන්නකි. මුගලන් රජු ගේ කාලයෙහි සිදු වූයේ සිංහලයන් ගේ දේශපාලන ආධිපත්‍යයට එරෙහි ව අවුරුදු සිය ගණනක්‌ තිස්‌සේ ගොඩනැඟුණු යක්‍ෂ ගෝත්‍රික දේශපාලන අභියෝගයක්‌ පරාජය කිරීම ය. ඕනෑ ම දේශපාලන ආධිපත්‍යයක්‌ සමඟ යම් ප්‍රමාණයක වුව ද සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ බද්ධ වී ඇත. අප රටේ අවුරුදු දහස්‌ ගණනක ඉතිහාසය පමණක්‌ නො ව වෙනත් රටවල ඉතිහාසය ද අධ්‍යයනය කිරීමේ දී ඒ බව පෙනී යයි. එහෙත් සංස්‌කෘතික ආධිපත්‍යය වෙන ම ක්‍රියාත්මක වී ඇත්තේ බටහිරයන් යටතේ ය.

පැරැණි යුගවල සිදු වී ඇත්තේ එක්‌ පිරිසක දේශපාලන ආධිපත්‍යය තවත් පිරිසක්‌ මත ක්‍රියාත්මක කිරීම ය. ඇතැම් විට ඒ පිරිස්‌ දෙක ම එක ම සංස්‌කෘතියකට එක ම ආර්ථික රටාවකට අයත් වූවන් වන්නට ඇත. එවැනි අවස්‌ථාවක හුදු දේශපාලන ආධිපත්‍යයෙහි පමණක්‌ වෙනසක්‌ සිදු වෙයි. එහෙත් ආධිපත්‍යය පිහිටුවන පිරිස වෙනත් සංස්‌කෘතියකට අයත් නම් ඇතැම් විට යම් ප්‍රමාණයක සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ ද ඇති වීම වැළැක්‌විය නොහැකි ය. එහෙත් ඇතැම් විට එහි ප්‍රතිලෝමය ද සිදු වන්නට ඉඩ ඇත. එනම් දේශපාලන ආධිපත්‍යය පිහිටුවූවන් වෙත ආධිපත්‍යයට යට වූවන් ගේ සංස්‌කෘතිය ආරෝපණය වීමක්‌ ද සිදු විය හැකි ය. දේශපාලන ආධිපත්‍යය සමඟ සංස්‌කෘතියෙහි දෙපැත්තට ම ඇති විය හැකි මේ වෙනස්‌කම් සංස්‌කෘතික ආරෝපණ ලෙස හැඳින්විය හැකි ය. ආර්යයන් දඹදිවට පැමිණීමෙන් පසුව දෙපැත්තට ම සංස්‌කෘතික ආරෝපණ සිදු වී ඇත.

එහෙත් බටහිර යටත්විජිතවාදය යනු හුදු දේශපාලන ආධිපත්‍යයක්‌ පිහිටුවීම හා එයට අදාළව සංස්‌කෘතික ආරෝපණ සිදු වීම හෝ සිදු කිරීම හෝ නො වේ. එහි දී දැනුවත්ව සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ ද පිහිටුවෙයි. බටහිර යටත්විජිතවාදය මෙතෙක්‌ ලෝකයේ තිබූ යටත්විජිතවාදවලින් වෙනස්‌ වන්නේ එබැවිනි. බටහිර යටත්විජිතවාදයෙහි එකිනෙකින් අෙන්‍යාන්‍ය වශයෙන් බහිෂ්කාර නො වූ ආර්ථික, දේශපාලනික හා සංස්‌කෘතික සංරචක වෙයි. මුගලන් රජු කෙළේ යක්‍ෂ ගෝත්‍රිකයන් මත දේශපාලන ආධිපත්‍යයක්‌ පිහිටුවීම පමණකි. ඒ සමඟ යම් යම් සංස්‌කෘතික ආරෝපණ දෙපැත්තට ම සිදු වන්නට ඇත. බටහිරයෝ දේශපාලන ආධිපත්‍යය පිහිටුවීමෙන් පමණක්‌ සෑහීමකට පත් නො වූ හ. ඔවුහු සංස්‌කෘතික ආධිපත්‍යයක්‌ ද පිහිටුවූ හ.

0 comments:

Post a Comment