කොත්මලේ ජනප‍්‍රවාද

|

කොත්මලේ ජනප‍්‍රවාද ගත තොරතුරු පිළිබඳ සොයා බැලීමේදී කොත්මලේ ගණිතයා නොහොත් “පොන්නා නැකැත්තා” යනු වැදගත් සාධකයකි.ඉතිහාස පොත්වල සදහන් වන ප්‍රධාන රාජකීය දෛවඥයන් වන කොත්මලේ,භරණ හා දොඩම්පේ ගණිතයන් අතරින් ඉතා රසවත් මෙන්ම වඩාත් වැඩි වශයෙන් විස්තර සටහන් වී ඇත්තේ කොත්මලේ ගණිතයා පිළිබදවය.ලංකාවෙ ජීවත් වූ බලවත්ම නැකැත්කරුවෙක් ලෙස සැලකෙන මොහුගේ පරම්පරාව ආරම්භ වූ ආකාරය රසවත් කථාවකි.
1. නිදන් වදුල
රාවණා රජ සමයේදී නිධන් ගත කරන ලද රන් පුහුලක් (පුහුලක හැඩයට සෑදූ රත්රන් ගුලියක්) පිළිබදව පුස්කොළ පොතක ලියවුනු නිධන් වදුලක් ඉන්දියාවේ තෙළිගු බ්‍රාහ්මණ තරුණයෙකු අතට පත්විය.

මෙම බමුණු තරුණයා නිධන් වදුල කියවා රන් පුහුල ඇත්තේ ලංකාවේ මාවෙළ ප්‍රදේශයේ "නයින් කෙළිනා තොට" නම් ස්ථානයේ ගල් දොරකින් වැසී ඇති ගල් ගුහාවක් තුළ බව දැන ගත්තේය.රන් පුහුල ගැනීමට තමාගේම දරුවකු බිළි දිය යුතු බව නිධන් වදුලෙන්ම අවබෝධ කරගත් වස්තු ලොල් මෙම බමුණු තරුණයා නිධානය ගැනීමේ අරමුනින්ම ඉන්දියාවෙන් නැව් නැග ලංකාවට පැමිණ මාවෙල ප්‍රදේශයේ කාන්තාවක් සරණ පාගෙන එහිම ජීවත් විය.

2. බිලි පූජාව
ඉන්පසු එම ස්ති‍්‍රයට දාව උපදින කුලුඳුල් පුත‍්‍රයා රන්පුහුල ගැනීමේදී බිලි දීමට වස්තු ලොල් නැකැත්තා ක්‍රියා කළේය.

බිලි 
පූජාවසාර්ථක වූ අතර රන් පුහුල ලබා ගත් බමුණා එය අරක් ගෙන සිටි නාගයා පසුපස හඹා ඒවියැයි සිතා ගල්තලාවක් මතට දිව ගිය අතර එහිදී හටගත් පිපාසය නිසා වතුර පානය කිරීමට රන් පුහුල බිම තැබීය.

එවිට ගල පලාගෙන රන් පුහුල නැවතත් එම ගලෙහි නිදන්ගත වූ බව ද රන්පුහුල බිම තැබූ ස්ථානය "පුසුල්පිටිය" ලෙස හැඳින්වූ බවද සඳහන්ය.

තම දරුවාත් නිධානයත් දෙකම නැති වීම ගැන දුක් වූ බමුණු තරුණයා සිත් තැවුලට පත්ව දිවි නසා ගැනීමට සූදානම් වුවත් ඔහුට පිහිට වූ බෞද්ධ භික්ෂුවකගේ ධර්ම දේශනයක් අසා වස්තු තන්හාව තුනී වී යහපත් පුද්ගලයකු බවට පත්විය.

මොහු නැවත තම මව් රටට නොගොස් මෙහිම නතර වූ අතර ඔහුගේ පරම්පරාවම නැකැත්තන් විය.

3. ගැමුණු රජතුමාගේ කාලය
බෞද්ධයකු බවට පත්වූ බමුණු තරුණයාගේ දෙවෙනි පුතු ගැමුණු රජතුමාගේ කාලයේ වාසය කළේය.

තම තෙළිගු බමුණු පෙළපත් නාමය වූ "පොන්නා"(පොන් යනු තෙළිගු බසින් "රන්" හෙවත් රත්රන් හැදින්වීමයි.) ඔහු භාවිතා කළ නාමය විය.තරුණ වියට පත් පොන්නා තම පියා මෙන්ම ජ්‍යොතිෂයේ හා ගුප්ත ශාස්ත්‍රයේ ප්‍රවීනයකු විය.(ලංකාවට ආ පොන්න පරපුර තම කීර්තිය වැඩීගිය පසු දකුණු ඉන්දියාවෙන් පැමිණීම හා කුල තොරතුරු වසා දැමීමක් ඔවුන් විසින්ම සිදු කලේය.)

ගැමුණු කුමරු ගුත්තා නමින් කොටගේ පිටිය නම් ග‍්‍රාමයේ අප‍්‍රසිද්ධව වෙසෙන අවධියේ වීසුරු ගෙදර ඌරු පැලැස්සේ ගම්මැහේගේ බාල දියණිය සමඟ ඇතිකරගත් සබඳතාවක් මත පසුව විවාපාත‍්‍ර විය.

පැළැල්ලදෙණියේ මහගෙදරට පදිංචියට යන්නේ ඉන් පසුවය.
ගුත්තා තමා ගැමුණු කුමරු යැයි තම බිරිඳ වූ රන්මැණිකාටවත් වෙනත් කිසිවකුටවත් නොපවසයි. එහෙත් බුද්ධංගල හා රජතලා කුඹුරු ඔහු අස්වද්දන්නේ දුටුගැමුණු කුමරු යුද්ධ කරන විට අවශ්‍ය කරන ධාන්‍ය සැපයීමේ අරමුණ ඇතිව බව ගුත්තා පවසයි.

මෙහි තමන් සමඟ දිවි ගෙවන ගුත්තා, හිද්දලයා නැතිනම් එද්දලයා කිසිවිටකවත් දුටුගැමුණු කුමරු යැයි රන්මැණිකා නොදැන සිටියද සෑම දිනකම මල්කදට (බත් පෙට්ටියට) ඇඹුල රැගෙන යාම ඇය පුරුද්දක් කරගත්තාය.

දිවා ආහාරය ගනු ලබන ගුත්තා රන්මැණිකාගේ උකුලේ හිස තබා නිදාගැනීම පුරුද්දක් කරගත් අතර එවන් දිනයකදී කුමරු විකාර සිහිනයක් දකියි. මේ සිහිනය පිළිබඳව ද ගැමි මත තුනකි.

ඉන් පළමු මතය තම බඩවැල් මුවින් පැමිණ දික් වී ගොස් නැවත කෙටි වී කුසට ඇදී යාමයි. දෙවැනි මත කුමරුගේ මහපටඇඟිල්ලේ මීයක් බැඳීමය. තුන්වන මතය කුමරුගේ දිව දික්වී එළියට පැමිණ ලංකාව වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.

කෙසේ නමුදු මේ විකාර සිහිනය දැකීමෙන් කලබල වූ කුමරු ඡ්‍යොතිෂ ශාස්ත‍්‍රඥයකු සොයාගොස් සිහින පලාඵල දැනගැනීමට කල්පනා කළේය.

4. ගැමුණු කුමරු හමුවීම
"පොන්නා ගුරුන්නාන්සේ මේ ගුත්තා ළමයාට ඔහේව හම්බවෙන්න ඕන කියලා ඇවිත් ඉන්නේ..."
"කව්ද බන් ගුත්තා කිව්වේ.ආ මේ අපේ කොටගේ පිටියේ විසුරුගෙදර ඌරු පැලැස්සේ ගමරාළලැයි නැවතිලා ඉන්න ගුත්තා ළමයා නෙව.මොකෝ ළමයෝ මේ හදිස්සියේ මේ පැත්තේ."

පොන්නා ඇසූ දෙයට එකවර පිළිතුරක් නොදුන් ගුත්තා පොන්නා දෙස මොහොතක් බලා සිටියේය.යකුන් මෙල්ල කරන ගුප්ත ශාස්ත්‍ර උගත් බලවන්තයෙකු වුවද තමා ඉදිරියේ සිටින ආරෝහ පරිනාහ තරුණයාගේ තියුණු තේජස් බැල්ම ඉදිරියේ පොන්නා මදක් පසුබා ගියේය.තමා ඉදිරියේ සිටින තරුණයාට තමාව තනිව මුණගැසීමේ අවශ්‍යතාව ඇති බව පොන්නා වටහා ගත්තේය.

අතවැසියා පිටතට යැවූ පසු පසු ගුත්තා කතා කලේය.
"ගුරුන්නාන්සේ මම ඊයේ අමුතු විකාර හීන වගයක් දැක්කා.ඒ හීන වල තේරුමක් තියෙනවද කියල දැන ගන්නයි ආවේ.

"හොදයි එහෙනම් අන්න අර පේන දෙහි ගහ ලඟට ගිහින් මෙන්න මේ වතුර විදුරුව දිහා බලාගෙන රහසින් තමා දැක්ක හීනේ ගැන කියලා ඒ වතුර ටික දෙහි ගහට වත් කරලා ආවනං"

පොන්නා ගුරා පැවසූ දේ එලසම සිදුකොට ගුත්තා නැවත පොන්නා ගුරු වෙතට පැමිණියේය.

"හොදයි දැන් මෙන්න මේ බුලත් අතෙන් තමාට හිතෙන බුලත් කොළ ගානක් අතට අරගෙන ඔය ළමයා දැක්කයි කියන හීනේ ගැන මටත් කිව්වනම්."

"මම දැක්ක හීනේ හරි විකාරයක් වගේ හීනේ දැක්කේ කොටස් තුනකට වගේ මුලින්ම දැක්කේ මගේ බඩවැල් කටින් එළියට ඇවිත් දිග්වෙලා නැවත කෙටි වී බඩතුලටම ඇදී යාමයි.දෙවැනි පාර දැක්කේ මගේ දිව දික්වෙලා මුළු ලංකාද්වීපයේම වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.තුන්වෙනි පාර දැක්කා මගේ මහපටැඟිල්ලේ මී වදයක් බැදලා තියෙනවා.මේ හීනවල ත්රුමක් තියේද ගුරුණ්නාන්සේ."

"ගුත්තා තමා දුටු සිහිණ විස්තර කිරීම ආරම්භ කරනවාත් සමගම කවඩි බෙල්ලන් අතට ගත් පොන්නා සිහින් හඩින් මතුරමින් කවඩි කිහිපයක් පෙත මත දමමින් කිසියම් ක්‍රියාවක් සිදු කලේය.නැවත වරක් එම ක්‍රියාව සිදු කළ පොන්නා කවඩි පෙත දෙස විශ්මයෙන් යුතුව බලා සිටියේය."

"ඔබතුමා කවුද?සිහිණ හා තත්කාලය අනුව පෙනෙන විදියට ඔබ මහා බලගතු රාජ කුමාරයෙක් විය යුතුයි.කවදා හරි දවසක ඔබ මේ රට එක්සේසත් කර රටේ මහ රජු බවට පත්වෙනවා ඒකාන්තයි.සිහිණ වලින් පෙන්වා ඇත්තේ එයයි.කාවන්තිස්ස රජු සමඟ අමනාපව රජවාසලෙන් පැන ගිය ගැමුණු කුමරු ඔබ නේද?"

" ඔබ හරි මම ගැමුනු කුමරු තමයි. ඒත් ඔබ මෙය රහසක් ලෙස පවත්වා ගත යුතුයි.ඔබ පැවසූ පරිදි සොලීන් පලවා හැර මේ රට මුදවා ගැනීම මගේ එකම අරමුණයි.ඔබගේ ශාස්ත්‍රීය දැනුමට මා ගරු කරමි."

තමා ඉදිරියේ සිටින්නේ අනාගතයේ රට භාර ගැනීමට සිටින දුටු ගැමුණු රාජ කුමාරයා බව දැනගත් පොන්නා ගුරුතුමා කුමරුට ගෞරව නමස්කාර කොට කුමරු පිළිබද රහස රැකීමට ප්‍රතිඥා දුන්නේය.

පසු කලෙක දුටු ගැමුනු රජු සොලීන් පරදවා රට එක්සේසත් කලේය.ඒ සදහා අනාගත වාක්‍ය පැවසූ පොන්නාව රාජකීය දෛවඥයා ලෙස පත්කරගත්තේය.

මෙලෙස පොන්නා නැකැත් පරපුර රාජකීය සම්මණයට පාත්‍ර වීම ආරම්භ විය.ඉන් පසු පරම්පරා ගනනක්ම පොන්නා නැකැත් පරපුර රාජකීය දෛවඥයන් ලෙස පිදුම් ලැබුවේ එම නැකැත් පරපුරේ දක්‍ෂතා ජානමය වශයෙන් ඉදිරි පරම්පරාවටද ගමන් කිරීම හේතුවෙනි.
5. නැකැත් පරපුරේ අවසන් පුරුක
පොන්නා නැකැත් පරපුරේ අවසන් පුරුක වූ "කොත්මල් ගණිතයා" මහා ප්‍රාඥයකු විය. ජ්‍යොතිෂය,ගුප්ත විද්‍යා ක්‍රම මෙන්ම හේ කවියටද දක්‍ෂයකු විය.

කොත්මලේ ගණිතයාද පොන්නා නැකැත් පරපුරේම අයෙකු වීමත් ඇතැම් ස්ථාන වල කොත්මලේ ගණිතයාවද පොන්නා ලෙස හැදින්වීම නිසා දුටු ගැමුනු කුමරුට අනාවැකි පැවසූ පොන්නා හා ඔහුගේම මුණුපුරෙකු වූ කොත්මලේ ගණිතයාව ඉතිහාසඥයන් පටලවා ගනී.

කොත්මලේ ගණිතයා රාජ සේවයට බැදුනේ කීර්ති ශ‍්‍රී රාජසිංහ (ක‍්‍රි.ව. 1747 - 82) රජතුමාගේ කාලයේදීය.ඔහුට එම තනතුර උරුම වුයේ පිය උරුමයෙනි.

කොත්මලේ ගණිතයා මාවෙල ගමේ සිට තල අත්ත කිහිළි ගන්නා ගෙන සෙන්කඩගල රාජසභාවේ රාජ සේවයට යෑම සිරිත විය. සුබ නැකතින් මන්ත්‍ර පුරවා කොත්මලේ ඔය හරහා දැමූ උස්‌ ගල්තලා හෙවත් පාදියවලට අඩි තබමින් ඔයෙන් එතෙරවීම ගණිතයාගේ පුරුද්ද විය.

6. ගණිතයෙන් කවි කීම
කොත්මලේ ගණිතයා දක්‍ෂ කවි කාරයකුද විය.දිනක් තමා ඉදිරියට වතුර පිරවූ කළයක් උකුළ තබා එන රූමත් තරුණියක් දුටු ඔහු කවියෙන් මෙසේ කීවේය.

තුන්පස සිසිලසෙහි දිසිවුවන පූරණ
තුනුවිසි සිව් කළා රතිමායම් නිපුණ
තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන
තුන් සතරෙන් එකක් හැර මාවත සිටින

කොත්මලේ ගණිතයා පැවසූ මෙම කවියේ අර්ථයද ගණිතය හා බැදී ඇත.තුන්පස (3 x 5 = 15) සිසිලසෙහි දිසිවුවන පූරණ යනු පසළොස්වක දවසෙ පේන පූර්ණ චන්ද්‍රයාටය.තුන්විසි සිව් (3 x 20 + 4 = 64) කළා රතිමායම් නිපුණ යනු 64 මායම් දන්නා බවයි. තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන යනු තුන් කල් ( එනම් අතීතය, අනාගතය හා වර්තමානය) හිදීම ලස්සන ගැනු ළමයෙක් යන්නයි. තුන් සතරෙන් එකක් හැර (3 x 4 – 1 = 11 ) මාවත සිටින කියන්නෙ 11 වන රාශිය වන කුම්භ (කළයක්) අතින් ගෙන පාරෙ සිටිනා බවයි.

7. යකාගෙන් වැඩ ගැනීම
කොත්මලේ මාවෙලගමේ පදිංචිව සිටි කොත්මලේ ගණිතයා විවාහ වූයේ උඩුනුවරිනි. ඔහුට සිටියේ දුවරුන්ම හත් දෙනෙකි. හත්දෙනාම අවිවාහක වූහ.

ගෙදර වැඩට ගණිතයා විසින් හිසේ කටුවක්‌ ගසා මෙල්ල කොට යක්‌ෂයෙක්‌ රැගෙවිත් සිටියේය. හිසේ කටුවෙන් යකාගේ බලය පාලනය වූ අතර යකා බලා සිටියේ කෙදිනක හෝ මේ උගුලෙන් ගැලවී යාමටයි. මෙකළ ගණිතයාගේ බිරිඳ ගැබ්බරව සිටියාය.

8. යකාගේ පළි ගැනීම
දිනක් ගණිතයා දුර ගමනක් ගිය අතර යකාගෙන් පවුලේ පිරිස ආරක්ෂාවන බන්ධන කර යාමට ඔහුට අමතක විය. තමාගේ හිසේ කටුවක් ඇණුනු බව ගණිතයාගේ බිරිඳට කිවූ යකා ඇය ලවා කටුව ගලවා ගත්තේය. බන්ධනයෙන් මිදුණු යකා පළමුව කළේ ගණිතයාගෙන් පළි ගැනීමට ගැබ්බර බිරිඳ හා දුවරුන් හත්දෙනා ලේ විලක්‌ මැද මරා දැමීමයි. ඉන්පසු ඌ ශ්‍රීපාද අඩවියට පළාගොස්‌ සැඟවුණේය.

ආපසු පැම්ණ මෙය දැක කෝපය ඉහව හා ගිය ගණිතයා කරුංකා ගෙඩියක්‌ මතුරා පිල්ලියක්‌ ලෙස යවා යක්‌ෂයා මන්ත්‍ර බලෙන් ගේන්වා තිස්‌පනේ පිහිටා තිබූ බුදුන්හිටිලෙන අසල ඉපැරණි ඇටඹ ගහට තබා ගෙල කපා මරා දමා ඇත. ඉන්පසු මේ ඇටඹගහ "යකඹ" ගහ නමින් ප්‍රසිද්ධ විය.

ඔහුට සිටි දූවරුන් හත්දෙනා ම අවිවාහක වූ නිසා කොත්මලේ ගණිතයාගේ බාල සොහොයුරා වූ කුඩා නැකැත්තාගෙන් අද සිටින ඔහුගේ නෑදෑ පරපුර පැවතෙයි. 

9. අනාගත වාක්‍යය..
වරක් නැකැත් තරුවක් ගැහෙනු දැකීමෙන් පොන්නා නැකැත්තා අපූරු ප‍්‍රකාශයක් කළේය.

ඉදිරි කලෙක කොත්මලේ ඔයේ දෙපස පිහිටි තිස්පනේ කන්දත් කඹදොරකන්දත් එකට එක්වී රටට සෞභාග්‍ය ගෙන එමින් ගඟ උතුරු දෙසට ගලන්නට පටන්ගන්නා බව නැකැත්තා පැවසුවේ යැයි ජනප‍්‍රවාදයේ එයි.

එම ප‍්‍රකාශයෙන් අවුරුදු 200 කටත් පසුව ගඟ හරහා වේල්ලක් බැඳ කඳු දෙක යා කොට ගඟෙහි ජලය, අඩි 1300 කට ආසන්න තිරස් කොන්කී‍්‍රට් අතුරණයකින් යුතු උමඟකින් හා අඩි 390 කින් යුත් අධිපීඩන උමඟකින් උතුරු දෙසින් පිහිටි බලාගාරයෙහි ට’ර්’බයින තෙක් ගෙන යන ආකාරයෙන් කොත්මලේ ජලාශය ඉදිකරනු ලැබේ.
ජලාශය ඉදිකිරීම මත නිසැකවම රටේ අභිවෘද්ධියක් ඇති විය. ප‍්‍රකාශයෙන් අවුරුදු ගණනාවකට පසු එය සත්‍ය බවට පත්වී ඇත.

10. සිකුරුගෙ කුණ්ඩලාභරණය
 
පොන්නා නැකැත්තා ජීවත් වූ කාලයේ දී ප‍්‍රබල ග‍්‍රහයෝගයක් ඇති බවත් එහිදී හටගන්නා ග‍්‍රහ යුද්ධයක් පිළිබඳව ඔහු දැනුම්වත් ව සිටියේ ය.

තම ගණිත ශාස්ත‍්‍රය හා ඡ්‍යෝතිෂ ඥානය උපරිම වශයෙන් ප‍්‍රයෝජනයට ගෙන මේ ප‍්‍රබල ග‍්‍රහ යුද්ධයෙන් සිකුරාගේ කුණ්ඩලාභරණය ගැලවී පෘථිවි තලය මත පතිත වන බව දැනගත් පොන්නා නැකැත්තා කුණ්ඩලාභරණය ලබාගැනීම් අදිටනින් එය වැටෙන ස්ථානයේ පැලක් ඉදිකරගැනීම සඳහා පිටත් විය.

නමුත් මේ කාරණය දැනගෙන සිටි දකුණු ඉන්දියාවේ සිට පැමිණි ගණිතඥයකු එම ස්ථානයේ පැලක් ඉදිකර කුණ්ඩලාභරණය අයත් කරගනු පිණිස බලා සිටියේය.

කර කියාගත දෙයක් නොවූ පොන්නා නැකැත්තා උපායක් සිතා එකී බමුණා ඉදිකරගෙන තිබූ පැලෙහි වහලේ වැදී කුණ්ඩලාභරණය බිම පතිත වන ස්ථානය සෙවීම ආරම්භ කළේ ය.

කුණ්ඩලාභරණය නියම ලෙස බිම පතිත වන ස්ථානය සොයාගන්නා පොන්නා නැකැත්තා ඒ ඉඩ ප‍්‍රමාණය වෙන් කර ගත්තේය. ග‍්‍රහ යුද්ධය ආරම්භ වී සුළු මොහොතකින් පොන්නා සිටි ස්ථානයට කුණ්ඩලාභරණය පතිත වනුයේ අනෙක් බමුණා ගේ පැලේ වහලේ වැදීමෙනි.

එහෙයින් එකී බමුණා ද කුණ්ඩලාභරණයට අයිතිවාසිකම් කියන්නට වූ අතර ආරවුල විසඳ්‍රගත නොහී එය දුර දිග ගොස් අවසානයේ නතරවන්නේ රජතුමා ඉදිරියෙනි.

"මෙතරම් වටිනා කුණ්ඩලාභරණයක් තොප දෙදෙනාටත් රාජත්වයෙහි වූ මටත් නොවටිනා හෙයින් එය උත්තම දළදා වහන්සේ වෙත පුදමි” යැයි කියමින් එම රත්තරන් කුණ්ඩාලාභරණයෙන් නෙළුම් පලා පෙත්තක් සකසා ශ‍්‍රී දළදා වහන්සේ වැඩ සිටුවීමට ප‍්‍රයෝජනයට ගන්නා ලදී.

වර්තමානයේ දළදා වහන්සේ වැඩ හිඳින ගණ රන් පලාපෙත්ත මෙසේ සිකුරාගේ කුණ්ඩලාභරණයේ වූ රත්තරන්වලින් සකසනු ලැබූවක් යැයි කියති. මෙකී කුණ්ඩලාභරණය වැටුණු ස්ථානය කුණ්ඩසාලය වශයෙන් ප‍්‍රසිද්ධ වූයේ ලු.

11. සිකුරා හමු වීම
කොත්මලේ ගණිතයා පිළිබඳ ඇති එක්‌ රසවත් ජනප්‍රවාදයක්‌ ඇත. දිනක්‌ උදැසන මැතිරූ තල අත්ත කිහිලි ගන්නා ගෙන කොත්මලේ ඔය හරහා දමා ඇති පාදියවලට ගණිතයා විඩාව සංසිඳුවා ගෙන ගිමන් හැරීමට අඩිපාර අද්දර තිබූ අම්බලමකට ගොඩවී අසුන් ගෙන බුලත් මඩිස්‌සලය ඇද විටක්‌ සපන්නට විය.

ටික වේලාවකින් මහලුවියේ පසුවන තවත් මගියෙක්‌ පැමිණ අම්බලමේ අසුන් ගත්තේය. පාළුව යැමට දෙදෙනා කතාබහට එකතු විය. තමා නක්‌ෂත්‍රකරුවකු බවත් රාජ සේවය සඳහා සෙන්කඩගල රාජසභාවට යන් බවත් බුලත්විට සපමින්ම ගණිතයා මහල්ලාට කීවේය.

මහල්ලා නළල රැළි ගන්වා ගණිතයා දෙස බැලුවේය. "හොඳයි, මේ වෙලාවේ සිකුරු ග්‍රහයා ඉන්න ස්‌ථානය කියන්න පුළුවන්ද?" මහල්ලා ගණිතයාගෙන් විමසුවේය.

ගණිතයා කොටු අඳිමින් බෙල්ලන් දමමින් පන්හිඳ රැගෙන හිස කසමින් කීපවරක්‌ ග්‍රහචාරය ගෙන බැලුවේය. එහෙත් සිකුරු සිටින ස්‌ථානය අපැහැදිලිය.

"තවම හොයාගන්න බැරිවුණාද?" අමුත්තා අසයි. ගණිතයා නැවතත් ග්‍රහචාරය පරීක්‌ෂා කොට හිසකෙස්‌ අතින් පීරමින් පරීක්‌ෂා කළත් පිළිතුරක්‌ නොලැබෙයි. ඔහු අමුත්තා දෙස බලා මොහොතක්‌ කල්පනා කරන්නට විය.

"සිකුරු ග්‍රහයා ඔබතුමාවත්ද?" ගණිතයා අමුත්තාගේ දැත අල්ලා ගනිමින් මුහුණ දෙස බැලුවේය.

"ඉගෙන ගත්තේ එච්චරයි." කියා අමුත්තා ගණිතයාගේ දෙනෙත්වලට ඇඟිල්ල තැබුවා පමණෙකි. ඔහුගේ පෙනුම අතුරුදන් වී දැස්‌ අන්ධ විය. කොත්මලේ ගණිතයා මහල්ලාගේ දැත් තදින්ම බදාගෙන වැළපීමට විය. "ඔබ වහන්සේ මට නැවත පෙනුම ලබාදෙන්න..."

මොහොතකින් ගණිතයාට යළිත් තිබූ පෙනුම හිමිවිය.

උතුරා ගිය ප්‍රීතියෙන් සිකුරුගේ පාමුල වැටුණු ගණිතයා සිකුරු දෙවියාගේ වරම් හා ආශීර්වාදය ඉල්ලා සිටියේය. ඔහුගේ හිස මත අත තබා සිකුරු ග්‍රහයා ඔහුට ආශීර්වාද කළේය. ඒ සමඟ ඉන්පසු සිකුරු ග්‍රහයාගේ අසීමිත බලවේගය ඔහුගේ නක්‌ෂත්‍ර කටයුතුවලට හා ජීවිතයට එකතු විය. සිකුරුගේ ආශීර්වාදය හා වරම් ලැබූ කොත්මලේ ගණිතයාට ඉන්පසු "සිකුරාධිපති" යන ගෞරවනාමය හිමි විය.

ඔහුගේ පරපුරේ අයද සිකුරාධිපති නම ආඩම්බරයෙන් අදත් භාවිත කරති.

12. ලබු ගෙඩියේ ශාස්ත්‍රය
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු රාජාධිරාජ සිංහ රජුටද කොත්මලේ ගණිතයා සේවය කලේය. ඒ වනවිට මහළු වයසේ සිටි කොත්මලේ ගණිතයාට රජ වාසළ තරුණ නැකැත් කරුවන් විරුද්ධව කුමන්ත්‍රණ දියත් කලේය.

තමන්ට සේවය කරන ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රඥයින්ගේ දැනුම පිරික්සීමට සිතූ රජතුමා නින්ද ගමකින් ලැබෙන විශාල ලබු ගෙඩියක් නොකපා එහි ඇති ඇට ගණන කොපමණ දැයි විචාරයි.

අයෙකු ඇට නැලියක් ඇතැයි ද තවත් අයෙකු ඇට දෙනැලියක් ඇතැයි ද විවිධ ප‍්‍රකාශ කළත් ලබු ගෙඩිය හොඳින් පිරික්සන පොන්නා නැකැත්තා මෙහි ඇට තුනක් ඇති බවත් ඉන් ඇට දෙකක් පුහු බවත් එක් ඇටයක් පමණක් හොඳ ඇටයක් බවත් ප‍්‍රකාශ කරයි.

මෙතරම් විශාල ලබු ගෙඩියක ඇට තුනක් පමණක් ඇති බවට කෙරෙන ප‍්‍රකාශය ගැන අනෙකුත් ශාස්ත‍්‍රඥයින් විසුළු කළ බැව් ජනප‍්‍රවාදයේ එයි. එහෙත් රජතුමා ඇතුළු රජවාසල සියලු දෙනාම මවිතයට පත් කරමින් නැකැත්තා කියූ ප‍්‍රකාශය සත්‍ය විය. ලබු ගෙඩිය දෙපලු කළ විට එහි හොඳ ඇට එකක් සහ පුහු ඇට දෙකක් තිබී ඇත.

13. මරණය
මේ සිදුවීමෙන් රජතුමාගේ ප‍්‍රසාදය ලැබිය යුතු වුව ද ඔහුට සිදුවූයේ අනෙකකි. මේ පුද්ගලයා ජීවත්ව සිටියහොත් තමාගේ රජ පදවියට ද අභියෝගයක් වේදැයි සිතූ රජතුමා නැකැත්තාගේ හිස ගසා දමන්නට නියම කළේ ඉන් අනතුරුව ය.

පොන්නා නැකැත්තා එවෙලෙහි කාල හෝරාවක් තමන්ගේ ජන්ම වේලාවත් සසඳ්‍ර බලා තව පැය තුනකින් මිය යන බව දැන වදකයින්ගේ කඩු පහරින් මිය යනවාට වඩා තම ආයුෂ ක්ෂය වීමෙන් මිය යාම සුදුසු යැයි සිතා තව පැය තුනකට පමණක් අභය දානය දෙන ලෙස කවියෙන් ඉල්ලීමක් කෙළේය.

රජ අණ පරිදි තව පැය තුනක් සඳහා අභය දානය දෙනු ලැබුණි. පැය තුන නිම වත්ම තම ආයුෂ ක්ෂය වී අදෘශ්‍යමාන චිත්ත බලයක් තිබූ, අද විද්‍යාඥයින්ටත් සොයාගත නොහැකි වූ ආශ්චර්යවත් පෙළහර පාන ලද පොන්නා නැකැත්තා ස්වභාවිකව මිය පරලොව ගියේය.

14. පුස්කොළ පොත
කොත්මලේ ගණිතයා විසින් ලියන ලද යැයි සලකන ‘මහාගණිතය’ නම් වූ පුස්කොළ පොතක් වෙයි. එය අදටත් මාවෙල පදිංචි ඩී.ජී.සරත් සෝමවීර මහතා ළඟ සුරක්ෂිතව තිබේ. එසේම නැකැත්තා භාවිත කළායැයි සැලකෙන පන්හිඳ ද ඔහු ළඟ සුරක්ෂිතව ඇත.  


ඩී.ජී.සරත් සෝමවීර

මෙකී පුස්කොළපොත ලියැවී ඇත්තේ තෙලිඟු භාෂාවෙනි. ‘තෙලිඟු’ යනු දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා දේශයේ පවුල් කතා කරනු ලබන භාෂාවකි. එහි අග බුද්ධ වර්ෂ 2301 (එනම් කි‍්‍ර.ව. 1757) ලෙස සඳහන් ය. “ශිකුරාජපති” “ස්වස්ති සිද්ධම්” යන පාඨය ද එයි.

 


‘මහාගණිතය’ පුස්කොළ පොත

පුස්කොළ පිටු 191 කින් සමන්විත දිගින් හා පළලින් පිළිවෙළින් සෙ.මි. 15.5, සෙ.මි. 4.8 වන මෙම පුස්කොළ පොත දෙපසින් ලී පටි තබා බැඳ පසු සෙ.මී. 7 උසයි. ඇතුළත පළමු පුස්කොළයේ ‘මහා ගණිතය’ ලෙස සටහන් කර ඇති මෙහි දෙමළ අක්ෂර ද බහුලව භාවිතා කොට ඇති බව පෙනේ.

1 comments:

Era said...

ඉතා විශිෂ්ඨ අර්ථාන්විත ප්‍රයෝජනවත් සටහනක්..ස්තුතියි ඔබට..!

Post a Comment